ඒඩ්ස් – අනතුර අත ළඟ!

පසුගිය දා මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන 53ක් පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒවායේ සේවය කරමින් සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙක්ට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිව තිබුණා.

ගිය වසරේ පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 695 දෙනෙක් සොයාගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. මෙම අයගෙන් බහුතරයක් වයස අවුරුදු 20-30 අතර අය බවයි පැවසෙන්නේ. දිවයිනම ආවරණය වන පරිදි පරීක්ෂණ කළත් මෙම පිරිසෙන් 40%ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බව වාර්තා වෙනවා.

මෙය පැහැදිලි භයානක අනතුරක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ඒඩ්ස් රෝගයට ගොදුරු වෙමින් යන්නේ තරුණ පරම්පරාව බවයි මේ දත්ත විසින් පැහැදිලි කරන්නේ. වාර්තා වන ආසාදිතයන් ගණන මෙය වුවත් මෙයට වඩා විශාල ගණනක් මේ වන විට සමාජයේ සැරසරමින් ඉන්න බව දැනගත යුතු යි.

ලිංගිකත්වය යනු තවදුරටත් ටැබූ නැත්නම් තහනම් මාතෘකාවක් බවට පත්ව ඇති අපේ රටේ මේ සංඛ්‍යාලේඛන පුදුම විය යුතු නැති බවයි සිතිය යුත්තේ. පාසල් පද්ධතියෙන් හෝ වෙනත් ආකාරයකින් තරුණ පරම්පරාවට නිසි ලිංගික අධ්‍යාපනය නොලැබීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක්.

අනෙක් වැදගත් ම කරුණ නම්, ලිංගික ශ්‍රමික කටයුතු සම්බන්ධයෙන් සිදු කළ යුතු නියාමනයයි. නෛතිකව මෙරට ගණිකා වෘත්තිය තහනම් වුවද සම්බාහන ආයතන මුවාවෙන් ඇති පදම් ලිංගික සේවා සැපයෙන බව රහසක් වන්නේ නැහැ. ප්‍රායෝගික නොවන තහනමක් ක්‍රියාත්මක වෙද්දී මෙවැන්නක් සිදුවන බව පැහැදිලියි. කළ යුතු වන්නේ ගණිකා වෘත්තිය නීතිගත කර නිසි නියාමනයක්, සෞඛ්‍ය අංශයේ මැදිහත්වීමක් සිදු කිරීමයි.

මේ සම්බන්ධයෙන් විධිමත් සොයාබැලීමක් කර විද්‍යාත්මක විසඳුමක් සෙවීම නොකරන්නේ නම් දකුණු අප්‍රිකාවේ සමහර රටවල මෙන් ජනගහණයෙන් බහුතරයක් එච්.එයි.වී ආසාදිතයන් වන දවස ඈතක නොවන බව කිව යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles