ශ්‍රීලනිප පුපුරා යයි: ඇමැති විජේදාස බොරදියේ මාළු බාන හැඩ

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත පුපුරා යෑමක් ඊයේ (30) සිදු වුණා.

කාලයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෑයම් කළ පොදු සන්ධානය ගොඩ නැගීමට නොහැකි වී තිබෙන්නේ, ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඇමැති තනතුරු ගෙන කටයුතු කරන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන අය නිසා බව මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ අදහස වී තිබෙනවා. ඊයේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් කර දැමුණා. ඒ පක්ෂ සංවිධායකවරුන් සහ විධායක කමිටුව මූලස්ථානයට කැඳවා විමසන ලද ඡන්දයකින්.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල එහිදී පවසා ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයේ සිටින දෙපිටකාට්ටු නිලධාරීන් නිසා ප්‍රශ්න මතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, නව නිලධාරි මණ්ඩලයක්ද පත් වූ අතර පැරණි නිලධාරීන් වන වත්මන් රජයේ ඇමැතිධුර දරණ පිරිස කියා සිටියේ තමන් මෙයට එරෙහිව නීතියේ පිළිසරණ පතන බවයි.

මේ තත්වයන් මත පැහැදිලිව පෙනී යන කරුණ නම්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිවරයාට සිය සහය ලබා නොදෙන බවයි.

ඒ අතර, පක්ෂ මාරුවට උපන් සමත්කමක් ඇති විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර කටයුත්තක් වන උක්ත රැස්වීමට සම්බන්ධ කරගෙන තිබුණා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පත් වූ අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහු එහිදී පවසා සිටියේ තමන් සිරිමාවෝ මැතිනියගේ කාලයේ පටන් ශ්‍රීලනිප පාක්ෂිකයෙක් බවත් අවශ්‍ය නම් දේශපාලන තීරණ ගන්නා බවත්.

විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා මේ මතුව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලබැගෑනිය මධ්‍යයේ තම අරමුණු ඉටු කරගැනීමට මාන බලන බව දේශපාලන විචාරකයන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles