අරාබියේදී විදුලිසර වැදී මිය ගිය සඳමාලිගේ දේහය ගෙන එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගිය දා මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක් වන ජයමිණි සඳමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පසුගිය දා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන්, සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක් තුළින් විදුලිය කාන්දු වී, විදුලි සැර වැදීමෙන් සඳමාලි මිය ගිය බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජාහි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිටියා.

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යමින් සිටිය දී ඇය මෙලෙස විදුලි සැර වැදීමකට ලක්ව තිබුණා.

ඒ අනුව අද උදෑසන සඳමාලිගේ දේහය භාරගැනීම සඳහා ඇගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වෙනවා.

සඳමාලි සේවය කළ ආයතනය විසින් ඩිරාම් 4,000ක මුදලක් මෙරටට එවා ඇතැයි ද සහෝදරයා පැවසුවා.

කෙසේවෙතත් එරටින් සිදුකළ සඳමාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් පිළිනොගන්නා අතර, අලුත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ මෙහෙයවීමෙන් දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.

සඳමාලිගේ අවසන් කටයුතු හෙට (04) මතුගම පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇති බව වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles