මත් බී ගෙදර ආ සැමියාව බිරිඳ කණුවක ගැට ගහලා : මිය ගිහින්

වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමේ දී සැකකටයුතු අන්දමින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වැලිගම පොලිස් වසමේ උඩුකාව කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මිය ගිය බව වැලිගම පොලිසිය අණාවරනය කර ගෙන ති‌බෙනවා.

සිදු කළ පරීක්ෂණ තුළින් හෙළිවී තිබෙන්නේ මිය ගිය පුද්ගලයා සෑම දිනකම මත්පැන් පානය කොට නිවෙසට පැමිණ සිය බිරිඳ සමග ආරවුල් ඇති කරගන්නා බවයි.

මෙම පුද්ගලයා ඊයේ (02) පස්වරුවේ දී මත්පැන් පානය කොට නිවෙසට පැමිණ බිරිඳට පහර දී ඇති අතර එම අවස්ථාවේ දී නයිලෝන් වර්ගයේ කඹයක් භාවිතා කරමින් බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයා නිවෙසේ ඉදිරිපස තිබූ වැරැන්ඩාවේ කනුවක ගැට ගසා තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණයවූ බව පොලිසිය පැවසුවා.

අනතුරුව මඳ වේලාවකින් පසුව සිය සැමියා සිහිසුන්ව සිටින බව දැක බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවත් එහි දී වෛද්‍යවරුන් විසින් පරික්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී රෝහල මඟින් වැලිගම මූලස්ථාන පොලිසියට මරණය සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන වයස 47 කාන්තාව සැකපිට පොලිස් බාරයට ගෙන ඇති අතර මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) මාතර මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles