මහාචාර්ය නලින්ද සිල්වා ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වෙයි

මෙරට සමකාලීන දාර්ශනික සහ දේශපාලන කතිකාවට බරපතළ බලපෑමක් ඇති කළ චින්තකයෙකු වන මහාචාර්ය නලින්ද සිල්වා අභාවයට පත්ව තිබෙනවා.

ඇමරිකාවේ සිටින තම පුතුගේ සුවදුක් බැලීමට ගොස් සිටියදී ඔහු අභාවයට පත් වූ බවයි දැනගැනීමට ඇත්තේ.

79 හැවිරිදි වියේ පසු වූ නලින්ද සිල්වා, ගණිත මහාචාර්යවරයෙකු ලෙසද කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධුරයද උසුලනු ලැබුවා. ඔහු කෙටි කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධුරයද හෙබවූ අතර ජාතික චින්තනය, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාව සහ දේශපාලන මතවාද සම්බන්ධයෙන් බරපතළ න්‍යායික මැදිහත්වීම් කළා.

1944 ඔක්තෝම්බර් 20 පානදුර, කෝවිලගොඩැල්ලහිදී උපත ලද නලින්ද සිල්වා තම ප්‍රාථමික අධ්‍යාපනය වෑකඩ (පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ලබාගත්තා. පසුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූවා.

1962 ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධිය හිමි කරගත්තා. 1970 දී සසෙක්ස් විශ්විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලැබුවා. භෞතිකවාදයේ සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරෙන්, භ්‍රමණය වන අංශුවක ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේ භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බව ගණිතමය අනාවැකි පළ කරනු ලැබුවා.

ඔහු මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂයේ සහ නව සමසමාජ පක්ෂයේ හිටපු සාමාජිකයෙකුද වෙනවා.

පසුව එහි පදනම් ප්‍රශ්න කළ නලින්ද සිල්වා මාක්ස්වාදයේ සහ බටහිර දැනුම් පද්ධතියේ පදනම් දැඩිව ප්‍රශ්න කරමින් 1986 වසරේ දී මගේ ලෝකය නම් ග්‍රන්ථය රචනා කරනු ලැබුවා. එසේ ම පුවත්පත් ලිපි 2500ක් පමණ පළ කර ඇති බව සඳහන් වෙනවා.

මෑත ඉතිහාසයේ මෙරට දේශපාලනයේ බරපතළ ම බලපෑමක් සිදු කළ පුද්ගලයා ලෙස බොහෝ දෙනා විසින් නලින් ද සිල්වාව සලකණු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles