“අහුංගල්ලේ බබා” ගේ පියා වෙඩි කා නසී: කොස්ගොඩ සුජීගේ පාර්ශවයදැයි සැකයක්

ගාල්ල අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ (08) සිදුකළ වෙඩිතැබීමකින් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන ‘බබා’ නමැත්තාගේ පියා බව පොලිසිය පෙන්වා දෙන්නේ.

දකුණේ පාතාල කල්ලි දෙකක් වන “කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුර” පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

අහුංගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඝාතනය වූ පුද්ගලයාගේ නිවසට ඊයේ රාත්‍රී 7.40ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් හිසට දරුණු තුවාල සිදුවූ කීර්තිසේන ආබෲ නැමැති එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය වාර්තා කරනවා.

දියවැඩියාව රෝගයෙන් පීඩාවිඳි මොහු අසනීප තත්ත්වය උත්සන්න වී වමනය දමමින් සිටියදී වෙඩික්කරු ඔහුව නිවසින් පිටතට කැඳවා වෙඩිතැබීම සිදුකරන අයුරු අසල තිබූ CCTV වීඩියෝවක දැක්වෙන බව පොලිසිය සඳහන් කරනවා.

කුරුඳු කම්කරුවකු වන ඔහුට කිසිදූ අපරාධමය චෝදනාවක් නොමැති වූවත් මේ වනවිට ඩුබායි සැඟව සිටින ඔහුගේ පුතු වන නදීෂ් කුමාර නොහොත් “අහුංගල්ලේ බබා” නමැත්තාට දකුණේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව පොලීසිය පවසනවා.

ඔහු රත්ගම විදුර පාර්ශ්වය නියෝජනය කරන අයෙක් වන අතර, ඒ අනුව මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළා යන අතරතුරදී බබා නැමැත්තාගේ ඥාතියෙකුගේ නිවසකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles