විජයදාසට සභාපති ලෙස කටයුතු කළ හැකිද? තීරණය හෙට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න හෙට (15) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නිවේදනය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

පැමිණිල්ල සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විජයදාස රාජපක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ (13) කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කඩුවෙල දිසා අධිකරණය විසින් ලබාදුන් නියෝගයට පටහැනිව බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා එහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරිමට කොළඹ දිසා අධිකරණයට හැකියාවක් නැති බවත් අදාළ නඩුව ගොනුකර ඇත්තේ අධිකරණ බලය අවභාවිත කරමින් බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටි ඔහු පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සලකා බැලීමට තමා විරුද්ධ බව සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කල බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි තම සේවාදායකයාට ලැබී නොමැති බැවින් එම නියෝගය තම සේවාදායකයාට අදාළ නොවන බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ නොමැති බවත් ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වූයේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ බවත් පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ නඩුව පැවරුවේ කෙසේද යන්න ප්‍රශ්න සහගත බවත් සඳහන් කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය හෙට(15) දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles