“යුක්තියේ” දී අල්ලස් ගත්ත පොලිස් දෙදෙනා ගෙදර

ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118-119 යතුරුපැදී රාජකාරිවල නිරතව සිටි වසන්ත කුමාර හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව විශේෂ රාජකාරි වාර්තා කර සිටි ආධුනික පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. ඒ. ප්‍රසාන් යන නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමකට ලක් කළ බව පොලිස් මූලස්ථානය වාර්තා කරනවා.

යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී මෙම නිලධාරීන් දෙදෙනා පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් ඔවුන්ට හමුවී තිබී ඇති බව සඳහන්.

එහිදි එම නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඇති අතර එකී මුදලින් රුපියල් 70,000/= මුදලක් එක් නිලධාරියෙකුගේ ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 230,000/= මුදල කොට්ටාව නගරයේදී ලබාගන්නා විටදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles