මවක් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකට කඩා වැදී මහ කලබලයක්!

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු සිසුවෙකුගේ මවක් විභාග මධ්‍යස්ථානයට කඩා වැදී සිසුන් පිරිසකට පහරදීමට යාමෙන් ඊයේ (14) එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා.

එහිදී සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර විද්‍යාලයේ දේපළවලට ද හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

අනුරාධපුර සහිරා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්ත කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එම දිස්ත්‍රික්කයේ දුර බැහැර ප්‍රදේශයක් වන ගම්මිරිස්වැව, මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දිනයේ සිට මෙම සිසුන් දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් සිදුව ඇති අතර පෙරේදා (13) එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

එහිදී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ එක් සිසුවෙකුගේ මවක් සිසුන් කිහිපදෙනෙකුට පහර දී තවත් සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැන තිබෙන බවත් ගැටුම දුරදිග යාම නිසා සහිරා විදුහලේ විදුහල්පති කාර්යාලයේ ජනේල කිහිපයකට පහර දී වීදුරු කඩා දමා හානි කර ඇති බවත් සඳහන්.

ගුටිබැට හුවමාරුවෙන් සිසුන් කිහිපදෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර ගැටුමට මුල් වූ බව කියන එක් සිසුවෙක් තදබල ලෙස පහරකෑමට ලක්වීම නිසා විභාගය අවසානයේ ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතු සළකා බලා ඇයව ඇප මත මුදාහැරි බව පොලිසිය වාර්තා කරනවා.

සාමාන්‍ය පෙල විභාගය පැවැත්වෙන ඉදිරි දින දෙක තුළ නැවත මෙවැනි කලහකාරී සිදුවීමක් ඇති කරගතහොත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර නීති මඟින් කටුයුතු කරන බව එම ස්ථානයට පැමිණි පළාත් අධ්‍යාපන බලධාරියෙක් විසින් සිසුන් දැනුවත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles