ඖෂධ නියාමන අධිකාරියේ තවත් වැරැදි තීරණයක් ගැන අධිකරණයේදී එළියට

ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණයේදි අවධාරණය කෙරුණා.

අදාළ පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8 මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්. පී. බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීල් ශාන්ත සිරිමාන්න මේ බව අවධාරණය කළා.

අභියාචනාධීකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

යම් ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර එය මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් කොට ඇති බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියා.

එහෙත් වග උත්තරකාර සමාගම විසින් නිෂ්පාදන කළ එන්නත් වර්ග අටක් සඳහා මාස දෙකක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවටත් නීතීඥවරයා විසින් චෝදනා කළා.

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් පෙන්වා දුන්නා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බව සඳහන් කළා.

එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමඟ තමන්ද එකඟවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස හයක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් පමණක් බව කියා සිටියා.

ඒ අනුව අදාළ නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles