විජයදාසට එරෙහි වාරණය ගැන කරුණු දැක්වීම අද සවසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබා දුන්නා.

මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඊයේ (14) විරෝධතා මතුකරනු ලැබූවා.

නමුත් එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බව පෙන්වා දුන්නා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන කඩුවෙල දිසා අධිකරණයේ නියෝගයට අගතියක් නොවන ආකාරයට මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව පැවසූවා.

ඒ අනුව අදාළ වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අද (15) දහවල් 1ට සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles