රුසියාවට කුලී සෙබළුන් යැවූ ජාවාරමේ ඒජන්සිකරුවෙක් කොටු!

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) දින ඔවුන්ව අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔවුන් විසින් සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර තිබෙනවා.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වන බව සඳහන්.

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වටලා එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (16) දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles