මෛත්‍රී ශ්‍රීලනිප විකුණා පාස්කු දඩේ ගෙවලා : අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රී.ල.නි.ප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බවය.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර ඇතැයි සඳහන්.

පාස්කු වින්දිතයන්ට කෝටි 10ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණද හිටපු ජනාධිපතිවරයා කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඉතිරි මුදල් ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බැවින් එම මුදල කොටස් වශයෙන් ගෙවීමට ඔහුගේ නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති පසුබිමක ඔහු විසින් පාස්කු වින්දිතයන්ට මිලියන 28ක මුදලක් ගෙවා ඇති බවට පුවත්පතක වාර්තා කර තිබෙනු දැක තමා විමතියට පත් වූ බවත් මොන්ටේගු සරච්චන්ද්‍ර සිය පැමිණිල්ලේ සඳහන් කර ති‌බෙනවා.

හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාදී තිබියදී පක්ෂයේ සභාපති ධූරය සඳහා ඔහු විසින් වෙනත් අයෙකු පත් කිරීමත්, වන්දි මුදල් ගෙවීමට වත්කමක් නැති බව අධිකරණය ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර තිබියදී වන්දි ලෙස විශාල මුදලක් එකවර ගෙවීමත් සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බව ඔහු පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් අදාළ වන්දි මුදල් ගෙවා ඇති බවට පාක්ෂිකයන් අතර කතාබහක් පවතින බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles