96 ස්වර්ණමය ක්‍රිකට් මතකයට වසර 28යි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය දිනයක් ලෙස සනිටුහන් වී ඇති 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර ඊයේට (17) වසර 28ක් සැපිරේ.

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව සත්කාරකත්වය දැක්වූ ‘වීල්ස්’ ලෝක කුසලානය එවර පැවැත්වුණේ හයවෙනි වරටය.

පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී වර්ෂ 1996 මාර්තු මස 17 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම ස්වර්ණමය තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග මෙහෙයවූ අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම මාර්ක් ටේලර් මෙහෙයවීය.

1996 තරගාවලිය පුරාම පෙරළිකාරම කණ්ඩායම බවට පත්වූ  ශ්‍රී ලංකාව අපරාජිතව කුසලානය දක්වා ගමන් කිරීම මෙම තරගාවලියේ වූ සුවිශේෂී ම සිදුවීමකි.  

තරඟාවලිය පුරාම පෙරළිකාර තීන්දු තීරණ රැසක් ගත් නායක අර්ජුන රණතුංග අවසන් මහා තරගයේදී ද කාසියේ වාසිය දිනා සුවිශේෂී තීරණයක් ගනිමින් රාත්‍රියේ පන්දු යවන්නන්ට වැඩි වාසිදායක ගඩාෆි තණතීරුවේ ලකුණු හඹායෑම තෝරාගත්තා.

ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 241ක් රැස්කළා.ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කල මාර්ක් ටේලර් ලකුණු 74ක් රැස්කළ අතර, රිකී පොන්ටිං ලකුණු 45ක් රැස්කළා.

තරගාවලිය පුරාම වැදගත්ම අවස්ථාවන් රැසක කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් බර කරට ගත් උප නායක අරවින්ද ද සිල්වා මෙම තරගයේදී ද පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරමින් ලකුණු අතර සිටි ඕස්ට්‍රේලියානු නායක මාර්ක් ටේලර් සහ රිකී පොන්ටිං දවාගනිමින් විශාල ලකුණු පුවරුවක් දක්වා ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියානුවන් මෙල්ල කළා.

අනතුරුව තරගාවලිය පුරාවටම සාර්ථකම ආරම්භයන් රැසක් ලබාගත් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවන් යුගලය වන සනත් ජයසුරිය සහ රොමේෂ් කළුවිතාරණ ලකුණු 242ක පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසිය ද ඔවුන් දෙපලට සාර්ථක වීමට අවස්ථාව ලබානොදී ලකුණු 23ක් තුල ඔවුන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

කෙසේවෙතත් අනතුරුව පිටියට පිවිසි අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා කඩාවැටී තිබූ ඉනිම ශක්තිමත් කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 125ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු පුවරුව ස්ථාවර මට්ටමකට රැගෙන ගියා.

ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියට හිසරදයක් වෙමින් පහර එල්ලකළ ගුරුසිංහ ලකුණු 65කට තෙවන කඩුල්ල ලෙසින් දැවීගිය අතර, අනතුරුව නායක අර්ජුණ රණතුංග උප නායක අරවින්ද සමග පිටියේ එක්වුණා.

ඒ වනවිට තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 94ක් අවශ්‍යව තිබූ අතර, කල්යල් බලමින් දුර්වල පන්දු තෝරා බේරාගනිමින් අර්ජුන සහ අරවින්ද තරගය ඉදිරියට රැගෙන ගියා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ ජයග්‍රාහීම සහ සුවිශේෂීම මතකයේ රැදුණු ඉනිමක් දියත් කළ අරවින්ද ද සිල්වා අවස්ථාව මැනවින් තේරුම්ගනිමින් පන්දු 124කට මුණදී හතරේ පහර 13ක් සමගින් නොදැවී මනරම් ලකුණු 107ක් රැස්කළා. එකී විශිෂ්ඨ ඉනිම නොවන්නට තරගය මීට වඩා වෙනස් අයුරින් අවසන්වීමට ද ඉඩ තිබුණි.

එමෙන්ම අරවින්දට අනගි සහයක් ලබාදෙමින් නායකත්වයේ වගකීම කරට ගත් අර්ජුන රණතුංග තැනේ හැටියට ඇණේ ගසමින් පන්දු 37කින් වේගවත් ලකුණු 47ක් රැස්කළේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගිනි.

නායකයා මෙන්ම උප නායකයාගේ වගකීම කෙබදු වියයුතු දැයි මැනවින් පෙන්වා දුන් මෙම ඉනිම් දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ කිසිදා අමතක නොවන ස්වර්ණමය ඉනිම් දෙකකි.

තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වාට හිමිවූ අතර තරගාවලිය පුරා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ සනත් ජයසුරියට තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය.

එදා අවසන් මහා තරගයේ නායක අර්ජුන රණතුංග අවසන් හතරේ පහර එල්ලකරමින් තරගය ජයග්‍රහණය කරන අවස්ථාවේ විස්තර විචාරක අට්ටාලයේ සිටි ටෝනි ග්‍රෙග් “That’ s it. all the way to the boundry for four. what a victory for the sri lankans’ යනුවෙන් පවසන විට ගඩාෆි ක්‍රීඩාංගනයට පිරී සිටි විශාල ජනකාය මෙන්ම ලොවපුරා ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් සියලුදෙනාම සතුටෙන් ඔල්වරසන් දුන් බව නොරහසකි.

රට අභ්‍යන්තරයේ පැවති යුධමය වාතාවරණය යටතේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාව තුල පැවති තරග සදහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ නමුත් සිම්බාබ්වේ සහ කෙන්යාව තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට පැමිණීම සුවිශේෂී ක්‍රියාවකි.

එමෙන්ම අසල්වැසි ආසියාතිකයින් ලෙස පාකිස්ථානය සහ ඉන්දියාව එදා තමන්ගේ සහෝදර ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය පුරාවට දැක්වූ සහයෝගය සහ ලෙන්ගතු ඔල්වරසන් දැක්වීම කිසිදා අමතක කළ නොහැක.

  • රුවන්ත නිතුල්ගස්පිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles