නොසැලකිලිමත් ව කටයුතු කළැයි බන්ධනාගාර නිලධාරීන් 5කගේ වැඩ තහනම්

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු CCTV කැමරා කිහිපයකට අලාභහානි සිදුකිරීමේ සිදුවීමට අදාළව, රාජකාරියේ නොසැලකිලිමත්කමට චෝදනා කරමින් නිලධාරීන් පස්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය වන අවස්ථාවේ බූස්ස බන්ධනාගාරයේ අදාළ ප්‍රදේශයේ සේවය කළ ජේලර්වරයෙකු, නියාමකවරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නඩු කිහිපයකට වරදකරු වී සිටින මෙම සිරකරු පසුගියදා අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති අතර එයට ඔහු කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇති බවද පැවසෙනවා.

නොවැම්බර් 25 වැනිදා උදෑසන ව්‍යායාම සඳහා සිර මැදිරියෙන් පිටතට ගෙන යන විට සිර මැදිරියේ බිත්තියට නැග පැති වහලේ ආරක්‍ෂිත කම්බි දාරවලින් රිංගා CCTV කැමරා 23කට හානි කර ඇති බව වාර්තා වුණා.

පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මෙම රැඳවියාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස රත්ගම පොලිස් ස්ථානයට දැනුම් දී ඇතැයි බන්ධානාගර දෙපාර්තමේන්තුව පවසනවා.

මීට පෙරද මෙම රැඳවියා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොදු දේපළවලට අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම රැඳවියාට එරෙහිව අධිකරණයේ වෙනත් නඩුවක්ද ඇති බව හෙළිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles