වෙළඳපොලේ ලොකු ළුෑණු මිල හිටිහැටියේ ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මාස දෙක තුනකට පෙර රුපියල් 100-120ට තිබු ලොකු ළූණු මිල මේ වන විට රුපියල් 450ක පමණ මිලකට ඉහළ නැගීම පිටුපස ඇත්තේ මගඩි නාටකයක් බවයි පැවසෙන්නේ.
පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 200-300 අතර මිලකට තිබූ ලොකු ළූණු මෙලෙස මිල ඉහළ යෑමෙන් පාරිභෝගික ජනතාවගේ ඉහමොළ රත්වී තිබෙන තත්වයක Lankaline අප මේ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති අසේල සම්පත්ගෙන් විමසුවා.
ඔහු පවසන්නේ මේ හදිසියේ ලොකු ළූණු මිල වැඩිවීම තනිකරම මගඩි නාටකයක් බවයි.
ඉන්දියාව ලොකු ළූණු අපනයනය මාර්තු වන තෙක් නැවැත්වීමට සූදානම් වෙද්දී මෙය දැනගත් වහාම ආණ්ඩුව ලොකු ළූණු ආනයනයට රුපියල් 10ක බද්දක් පැනවූ බවත් ඉන්පසු ඇති තරම් මෙහි ළූණු ඇදගෙන ගබඩා කළ බවත් දැන් ඒවා වෙළඳපොලට නිකුත් කරමින් අසීමිත ලාබ උපයන බවත් අසේල සම්පත් පෙන්වා දෙනවා. ඔහු රජයට කියා සිටින්නේ බද්දෙන් පසු ලංකාවට කොතරම් ළූණු ගෙනවිත් තිබේදැයි හෙළි කළ යුතු බවයි.
සතොස ලොකු ළූණු මිලද හදිසියේ මෙලෙසම ඉහළ දමා තිබුණා. රාජ්ය ආයතනයක් ලෙස සතොස එක රැයින් මෙලෙස ලොකු ළූණු මිල වැඩි කරන්නේ කෙසේද යන්න ඔහු විමසා සිටිනවා. මේ හදිසි ධනලාභය යන්නේ ඇමැතිගේ සාක්කුවටද, නැත්නම් සභාපතිගේ සාක්කුවටද කියා ජනතාවට හෙළි කළ යුතු බව ඔහු පවසනවා.