ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රක් සභාපති අජිත් විජේසිංහ පදිංචිව සිටින පුත්තලම පිහිටි නිවසට කඩා වැදුණු කඩු, පොලු රැගත් කණ්ඩායමක් එම නිවසේ බඩු මුට්ටු විනාශ කර නිවසට සහ ඔහුගේ මෝටර් රථයටත් යතුරු පැදියටත් ගිනි තබා පළා ගොස් තිබෙනවා.
ප්‍රදේශයේ ටින් මාළු කර්මාන්තශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය නිසා සිදුවන පරිසර හානිය සහ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අජිත් විජේසිංහ විසින් ප්‍රදේශවාසීන් පිරිසක් සමඟ එම කර්මාන්තශාලාවට එදිරිව 2021 වසරේදී මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම මැර ප්‍රහාරය පසුපස එහි සම්බන්ධයක් ඇති බවට චෝදනා එල්ල වෙනවා.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොස්ප් ස්ටාලින් Lankaline වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තම දිස්ත්‍රික් සභාපතිවරයා සිය බිරිඳ සමග ජීවිත කාලය පුරා හරි හම්බ කරගත් සියල්ල මෙයින් විනාශ වී ඇති බවයි. සමාජ අසාධාරණයකට එරෙහිව පෙරට එන මිනිසුන්ගේ ජීවිත මෙලෙස විනාශ කිරීම නිසා කිසිවෙක් මින් මතු එවැනි අසාධාරණයන්ට එරෙහිව නොඑනු ඇති බවයි ඔහු පවසා සිටියේ.
අජිත් විජේසිංහ සභාපතිවරයාට මේ සිදු කළ විනාශය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතු බව පවසන ඔහු, මේ සියලු හානි වෙනුවෙන් ඔහුට වන්දි ලබා දිය යුතු බවත්, එවැනි සාධාරණයක් ඉෂ්ට කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවත් වැඩිදුරටත් කියා සිටියා. එසේ නොවන්නේ නම් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාර්ශ්ව සමග මෙයට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයකට යෑමට තම සංගමය පසුබට නොවන බවත් ගුරු සංගම් ලේකම්වරයා අවධාරණය කළා.