මෙරට දරුවෙකුගේ ලිංගික හිංසන වීඩියෝවක් ගැන ඇමෙරිකාවෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකුගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත්, එම දරුවා ශ්‍රී ලංකාවේ නම් සැකකරුවන් අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශනයක් ආරම්භ කළ බවත්, ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කෙමින්ද පෙරේරාට ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දන්වන ලෙස දන්වමින් විමර්ශනය සඳහා අවසර ලබා දුන් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles