කාන්තා සනීපාරක්ෂක තුවා වෙනුවට ලාභදායී-ආරක්ෂිත විකල්පයක්

කාන්තාවකගේ ජීවිත කාලයෙන් ආසන්නව අවුරුදු තිහක් පමණ නැතුවම බැරි දෙයක් සනීපාරක්ෂක තුවා. නාගරික සමාජය තුළ සනීපාරක්ෂක තුවා බහුලව භාවිතා වූවද තවමත් ඒ වෙනුවට රෙදි තුවා භාවිතා කරන බහුතරයක් ලංකාවේ වෙසෙනවා.

මීට මූලික වූ හේතු දෙක වනුයේ
සනීපාරක්ෂක තුවා වල අධික මිල
සුළුතරයක් තුළ ඇති යම් වැරදි වැටහීම්, ආකල්ප මත වෙනස් වීමට දක්වන මැළිකම

යන ඒවායි.

සනීපාරක්ෂක තුවාවල මිල ආර්ථික අපහසුතා සහිත පවුල් වලට දැඩි බලපෑමක් එල්ල කරන බව රහසක් නොවෙයි. නැප්කින්ස් දහයක් අඩංගු පැක් එකක් ආසන්නව රුපියල් තුන්සියයක් වන හෙයින්, මසකට අවම එම මුදල කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් වැය කළ යුතු වෙනවා. මෙය අවුරුද්දකට රුපියල් 3600/- ක පමණ මුදලක්

අඩු ආදායම් සහිත පවුලකට මසකට රුපියල් 300/- ක් වියදම් කර සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් ගැනීමට වඩා සහල් කිලෝ එකක් මිළදී ගැනීම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

එමෙන්ම සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී ඇතිවන ගැටලු මෙන්ම, දිරා යාමට ගතවන කාලය සැලකීමේදී පාරිසරිකව යම් බලපෑමක්ද එයින් එල්ල කෙරෙනවා.

සනීපාරක්ෂක තුවා වෙනුවට සාර්ථක විකල්ප නිෂ්පාදන පැමිණ තිබෙතත් ලාංකීය සංස්කෘතිය, සිරිත් විරිත් සහ දැනුවත්කමෙහි අඩුව නිසා ඒවා භාවිතයට බොහෝ අය මැළිකමක් දක්වනවා.

දැනට මේ සඳහා ඇති හොඳම විකල්ප නිෂ්පාදනය වන්නේ, Menstrual Cups. පළමුවෙන් මිලට ගැනීමේදී රුපියල් දහසකට ආසන්න මුදලක් වැය වුවත් බොහෝ කාලයක් පාවිච්චි කළ හැකි නිසා මෙය ඉතා ලාබදායී ක්‍රමයක්. එමෙන්ම සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී ඇතිවන ගැටලුද මේ සඳහා බලපාන්නේ නැහැ.

Menstrual Cups යනු කුඩා පුනීලාකාර සිලිකන් හෝ රබර් අමුද්‍රව්‍ය වලින් සාදන ලද්දක්. ඔසප් සමයේ අධික රුධිරය පිටවන කාන්තාවකට පවා මෙය පැය අටක්, දහයක් පමණ කාලයක් භාවිතා කළ හැකි වීම එහි වටිනාකම තහවුරු කරන්නක්. වරක් භාවිතා කළ පසු හොඳින් සෝදා, උණුසුම් ජලයේ තම්බා ගැනීමෙන් විෂබීජ හරණය නිසිලෙස සිදුවෙනවා. වයස, විවාහක, අවිවාහක බව මෙන්ම දරු උපත් ස්වභාවිකද නැතිද යන කරුණු මත මෙහි ඔබට ගැලපෙන ප්‍රමාණය තීරණය කළ හැකි වෙනවා.

මෙය භාවිතා කරනුයේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් නිසා ප්‍රමාණය තීරණය කිරීමේදී ඉහත කරුණු සැලකිල්ලට ගත යුතු වෙනවා.
Menstrual cup එක නිසි පරිදි ස්ථානගත කළ පසු ඔබට කිසිදු අපහසුතාවක් නොදැනෙන අතර මුත්‍රා කිරීමේදී පවා ඔබට කිසිදු වෙනසක් දැනෙන්නේ නැහැ.
පළමු වාර කිහිපයේදී ස්ථාන ගත කිරීම, ඉවත් කිරීම යන අවස්ථා වලදී කුඩා අපහසුවක් දැනුණද, ඔබට පහසු ආවේණික ක්‍රමයක් ඔබටම සකසා ගත හැකි වෙනවා. එමෙන්ම මෙහි පාවිච්චිය පිළිබඳ දැනුවත් කිරීමේ වීඩීයෝ බොහොමයක් YouTube තුළින් ඔබට සොයා ගන්නට පිළිවන්.

ශ්‍රී ලංකාව ගත් විට තවමත් මෙවැනි දෙයකට කාන්තාවන් හුරු කරවීම ඉතාමත් අපහසු කාර්යයක් නමුදු සෞඛ්‍ය අංශවල මැදිහත් වීමකින් මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළ හැකිනම් බොහෝ කාන්තාවන්ට ඉතා පහසුවක් වනවාට සැකයක් නැහැ.

  • උමායා උඳුගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles