මියගිය සොයිසා සහ පිරිසට එරෙහි නඩුවට උසාවි නියෝගයක්

ඉකුත් 2000 වසරේ මහ මැතිවරණය පැවති සමයේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය රංජිත් සොයිසා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක විභාගය වහාම අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (19) අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම නඩුවේ විත්තිකරුවන් පිරිසක් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම අතුරු නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අධිචෝදනා පත්‍ර ගොනුකළ බවත් ඉන්පසුව එය ඉවත් කරගත් බවත් පසුව 2019 වසරේ යළි නඩු පැවරීමට කටයුතු කළ බවත් කියා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව රත්නපුර මහාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එය මුල් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් විට ඊට අදාළ ලේඛන හා කටඋත්තර විනාශකොට ඇති නිසා ඒවා නොමැතිව යළි නඩු පැවරීම නීතියට පටහැනි බවට විත්තියේ නීතිඥවරු විසින් මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරනු ලැබුවා.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගයක් පවත්වා ගෙනයාමට විනිසුරුවරිය තීන්දු කළ බවද නීතීඥ හෆීල් ෆාරිස් අභියාචනාදීකරණය හමුවේ පෙන්වා දුන් අතර ඒ අනුව මහාධිකරණ විනිසුරුවරියගේ එම තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles