ෆොන්සේකාගේ පෙත්සම සම්බන්ධ අධිකරණ නියෝගයක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය තුළ දරනු ලබන තනතුරු සහ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා මෙලෙස දින නියම කළ බව සඳහන්.

මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන සමගි ජන බලවේගය නායකයින් විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණු අතර එම පෙත්සම විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා අදාළ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බැවින් එය අත්හිටුවීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අභියාචනාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles