අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් ද තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නාසා ආයතනය මඟින් හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළ මෙහෙයුම සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.
එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලය සඳහා සිව් දෙනෙක් තෝරාගෙන තිබෙනවා.
ඔවුන් වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති සහ පියුමි විජේසේකර නම් ශ්‍රී ලාංකික විද්‍යාඥවරියයි.
ඔවුන් නාසා ආයතනයේ “Human Exploration Research Analog” ලෙස නම්කර ඇති මෙහෙයුම් කලාපයට මැයි 10 වනදා ඇතුළු වීමට නියමිතයි.
එතැන් සිට දින 45ක කාලයක් ඔවුන් ගගනගාමීන් ලෙස කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කරන්නේ.
නාසා ආයතනය මඟින් සඳ, අඟහරු සහ අනෙකුත් අභ්‍යවකාශ කලාප වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් ට අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරයි.
එමඟින් ගගනගාමීන් ගේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීමට විද්‍යාඥයින්ට ද අවස්ථාව ලැබෙනවා.
මෙම හුරුව සඳහා මේ වසරේ තෝරාගත් දෙවැනි කණ්ඩායම මෙය වන අතර මෙම කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති පියුමි විජේසේකර, කැලිෆෝනියාවේ “NASA Ames” පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරනවා.