මාතර, වැලිගම ,බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන වැඩිදුර තොරතුරු හෙළි වී තිබෙන බව පොලිසිය පවසනවා.
අද උදෑසන මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වැඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණා.
මිදිගම පිටිදූව පාරේ පදිංචි 30 හැවිරිදි සුදේශ් මධුසංක නමැත්තා අද උදැසන සිය දරුවන් දෙදෙනා බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත රැගෙන ආ අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදු කළ බව සඳහන්.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
වෙඩිතැබීමට ඉලක්කය වූ පුද්ගලයා නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අයගේ පාර්ශ්වයේ පුද්ගලයකු වන අතර ඔහු 2022.01.20 වන දින මිදිගම, තුර්කි ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී මේ වනවිට ඇප මත නිදහස්වී සිටින අයෙක්.
මෙම වෙඩිතැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් වැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.