හැඳුනුම්පතේ ඡායාරූප ගාස්තුව වෙනස් කරමින් ගැස‌ට්ටුවක්

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙන බව දන්වා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බවයි.

මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 150ක් ව පැවති අතර ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැදුනුම්පත් ව්‍යාපෘතියේ පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව, අලුතින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලුම් කරද්දී නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, දුරකතන අංකය මෙන් ම ඊමේල් ලිපිනයක්ද ලබා දිය යුතුව තිබෙනවා.

රජයේ අරමුණ වී තිබෙන්නේ, අලුතින්ම හැඳුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles