ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටවල් 6කින් ඒකාබද්ධ වාර්තාවක්

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වන්නේ.

එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කර තිබෙන අතර මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව අදාළ රටවල් සමූහය සිය වාර්තාව මඟින් දැනුම් දී තිබෙනවා.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් හඳුන්වාදෙන නව නීති සකස් කළ යුත්තේ සැමගේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මානව හිමිකම් ආරක්ෂ වන ආකාරයෙන් බව එම වාර්තාවේ සඳහන්.

යාපනය අධි ආරක්ෂිත කලායේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුරු සහ නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ද එහි දක්වා තිබෙනවා.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, අක්‍රමවත් සෝදිසි කිරීම් සහ පොලිස් මෙහෙයුම් අතරතුර රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව සිය ඒකාබද්ධ වාර්තාව ඉදිරිපත් කරමින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් වැඩිදුරටත් සඳහන් කරනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරය පෙරේදා දිනයේ ආරම්භ වු අතර එය ලබන මස 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles