විසිළුසහගත පොලිස් සෝදිසි ගැන සිනා නැගෙන සටහනක්!

මේ දිනවල අගනගරයේ සිදුවන පොලිස් සෝදිසි කිරීම් ගැන, සෝදිසියට ලක් වූ අයෙකු ෆේස්බුක්හි තැබූ සටහනක්.

මේ දවස්වල කොළඹ හැම තැනම පොලිසිය හදිසි සෝදිසි කිරීම් කරනවා. ඒ කියන්නේ හිතන්නේ නැති වෙලාවට පොලිසියේ 10-15 ක් එක තැනකට ඇවිත් මිනිස්සුන්ව චෙක් කරනවා. හදිසි චෙක් පොයින්ට් කිව්වම ඉතින් වැඩියෙන්ම චෙක් කරන්නේ මෝටර් සයිකල් සහ ත්‍රීවීල්වල යන අයව තමයි. මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන්නේ බයික්කාරයොයි ත්‍රීවීල් කාරයොයි කියලා පොලිසිය ෂුවර් එකටම දැනගත්තේ කොහොමද කියන එක තමා මට තියෙන ප්‍රශ්නේ.

ඔන්න ඉතින් මම අද උදේ වැඩට එද්දි හරියටම විහාරමහාදේවි උද්‍යානයේ සතුටු උයන ගාවදි මගේ බයික් එකට පොලිසියෙන් අත දැම්මා. මම ගෙදරින් එළියට ගියොත් අනිවාර්යයෙන්ම මගේ බැක් පැක් එකත් අරගෙන තමා යන්නේ. දැන් ඉතින් මම අයින් කරලා බයික් එක නවත්තලා ඇයි කියලා ඇහුවා. අවුරුදු 20-22 ක විතර හරියකට රැවුලවත් වැවිලා නැති පොඩි එකෙක් “ඔයාව පරීක්ෂාවට ලක්කරන්න ඕනේ. බයික් එකෙන් බහින්න” කිව්වා.. මම ඉතින් බැස්සා.

පො: ගෙවල් කොහෙද?
මම: බොරැල්ලේ
පො: බොරැල්ලේ කොහෙද?
මම: බොරැල්ලේ
පො: (සැරෙන් වගේ) පර්ස් එකයි සාක්කුවල තියෙන දේවලුයි එලියට ගන්න.
මමත් ඉතින් හැම මගුලම අරගෙන දුන්නා.
පො: ෆෝන් එකේ බැක් කවර් එක ගලවන්න.
ඒකත් ගලවලා දුන්නා.
පො: මේ පර්ස් එක ඇතුළේ බ්ලේඩ් තලයක් තියන් ඉන්නේ ඇයි.
මම: නියපොතු කපන්ඩ
පො: ඇයි නිය කටර් එකකින් කපන්ඩ බැරිද?
මම: මම කැමැති බ්ලේඩ් තලෙන් කපන්ඩ.. ඇයි බ්ලේඩ් එකෙන් නිය පොතු කපන එක නීති විරෝදී දෙයක්ද?
පො: ඔය බෑග් එකේ මොනවද?
මම: වුවමනා කරන දේවල්.
පො: කෝ… ඇරලා පෙන්නන්ඩ
මම ඉතින් බෑග් එක ඇරලා පෙන්නුවා.
පො: මගේ අම්මේ මේ බෑග් එකේ තියෙන දේවල්.
මම: ඔව්. ඕක ඇතුලේ මගේ පුතයි ගෑනියි විතරයි නැත්තේ?
(සිරාවටම ඔය බෑග් එක ඇතුළේ මට කොහේ හරි ගිහින් කිසි අඩුපාඩුවක් නැතිව රැයක් ගත කරන්න ඕන කරන දේවල් තියෙනවා)
පො: මේ පිහියක් මොනවටද?
මම: මට වුවමනා වෙනවා.
පො: පිහි තියාගන්න එක නීතිවිරෝධියිනේ.
මම: ඕක ස්විස් ආමි නයිෆ් එකක්. මම ඕක ඔඩෙල් එකෙන් ගත්තේ. බිල් එක ඔය නයිෆ් කවර් එකේ තියෙනවා. මම ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා… මේක තියා ගන්න එක නීතිවිරෝදී නැහැ කිව්වා. ඔයාට ඕනේ නම් ඔඩෙල් එකට ගිහින් අශෝක් පතිරගේවත් අත්අඩංගුවට ගන්න. නීතිවිරෝධී පිහි විකුණනවා කියලා.
දැන් පොලිස්කාරයා මගේ පිහියත් අරගෙන එස්.අයි. කෙනෙක් ගාවට ගියා. මිනිහා පිහිය බලලා “ඕක අවුලක් නෑ” කිව්වා. අරයා ආපහු මා ගාවට ඇවිත් පිහිය දුන්නා.
දැන් පොර ආයි මගේ බෑග් එක අවුස්සනවා.
පො: හම්මට සිරි කොන්ඩම් පැකට් එකකුත් තියෙනවා.
මම: ඔව්
පො: කොන්ඩම් තියන් ඉන්නේ මොකටද?
මම: ඔයාගේ වයස කීයද?
පො: මගේ වයස මොකටද?
මම: නෑ ඉතින් මිනිහෙක් කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ කියපු නිසයි වයස ඇහුවේ
.
පො: ආ.. හරි… හරි මෙන්න බෑග් එක දැන් යන්ඩ.
මම: මාව මෙච්චර පරීක්ෂා කළේ මොකටද කියලා දැන ගන්න පුලුවන්ද?
පො: ගංජා තියෙනවද කියලා බලන්න.
මම: හයියෝ සංසාරේ… ජොයින්ට් එකක් ගහන කොල්ලෝ අල්ලන්ඩ පොලිසියෙම 15 ක් පාරට ආවද? (සිරාවටම මට හිනා ගියා හොඳේ… ඇයි යකෝ අපරාදේ රටේ සල්ලි)… එහෙනම් මම යන්නම්..

  • අනිල් කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles