ගජමෑන්, මගෝඩිස්තුමා, දොං සේතං, දැක්කොත් පත්මාවතී, සෙල්ලංසේන, ලපයා ආදී වශයෙන් විශාල චරිත ප්රමාණයක් අදටත් මේ බිමේ ජීවත් වෙති. ගජමෑන් යන නම සිංහල භාෂාව පවතින තෙක් පවතිනු නැතැයි කිසිවෙකුට කිව හැකි ද? අනුකරණ නොවූ ස්වීය නිර්මාණ වූ මේ චරිත සහ ඒවා වෙතින් නැගූ හාස රසය- සෝපහාසය කැටි කළේ කැමිලස් ය. කැමිලස් පෙරේරා ය. එය අප්රමාණ ජීවිතයකි. පුරාවෘත්තයකි.
කැමිලස් පෙරේරා උපන්නේ 1939 දෙසැම්බර් පළමු දා ය. මීගමුවේ ය. බාල සොයුරන් තිදෙනෙක්ට, බාල සොයුරියන් දෙදෙනෙක්ට අයියා වූ ඔහු මීගමුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ද මාරිස්ටෙලාවෙන්ද සිප්සතර හැදෑරුවේ ය. පාසල් සමය නිම වන්නාහාම පුත්තලම කච්චේරියේ රැකියාවකට යන්නට ඔහු සමත් විය. එහිදී මිනින්දෝරු කටයුතු සඳහා සැලසුම් අඳින්නට ද යොමු වූ අතර පාපන්දු කණ්ඩායම්ද නියෝජනය කළේ ය.
ඒ අතර ඔහුගේ ජීවනාලිය වූ චිත්ර ඇඳීම කරගෙන ගියේ ය. කොළඹ කච්චේරියේ රැකියාවකට කොළඹාගමනය සිදු කළ කැමිලස් පෙරේරාට කාටුන් ශිල්පියෙකු වීමට සිහින මැව්වේ ය. එහෙත් ඔහුට එය හදාරන්නට තැනක් තිබුණේ නැත. විදෙස් කාටුන් ශිල්පීන්ගේ නිර්මාණ පරිශීලනය ඔහුගේ හැදෑරීම විය. 1964 ඔහුගේ පළමු නිර්මාණය 1964 දී සරසවිය පුවත්පතේ පළ වූ අතර එයින් දවස පුවත්පත වෙත මග පෑදුණි. පළමු නිර්මාණය තෙපානිස් නමින් එළි දුටු අතර ගෙවීමක් නම් ලැබුණේ නැත.
ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ කැමිලස් දිනපතා දහවලේ නිකුත් වූ ජනතා පුවත්පතට දොන් සේතන් චරිතය නිර්මාණය කළේ ය. ඉන් අනතුරුව දොන් සේතන්ගේ පවුලේ උදවිය ලෙසින් තවත් චරිත නිර්මාණය වූයේ ය. දොන් සේතන්ගේ බිරිඳ සිමෝනා, දියණිය මෙරායා, බාල පුතු ලපයා, මෙරයාගේ පෙම්වතා ගොඩ්ඩින් අයියාටද උපත ලැබුණේ ය. සිළුමිණට සිරිබිරිස් ද සරසවියට දැක්කොත් පත්මාවතීද ආවේය. මෙරට පළමු චිත්රකතා පුවත්පත වූ සතුට වෙනුවෙන් ගජමෑන් චරිතය නිර්මාණය කරන්නට කැමිලස් පෙරේරා සමත් විය. මේ චරිත සියල්ලම පණ ඇති චරිත ලෙසින් ජනතාව අතර සැරිසරන්නට තරම් දක්ෂකමක් කැමිලස් සතු වූ බව ඔහුට ගෞරවයක් ලෙසින් ලියා තැබිය යුතු ය. ගජමෑන් චිත්රකතා පත්තර අලෙවියේ සලකුණක් සටහන් කරන්නට තරම් සමත්කමක් ගෙනාවේ ය. සියලු ආයතනවලින් බැහැරව තමාගේම ආයතනයක් හරහා කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි නමින් පුවත්පතක් එළිදැක්වීමට කැමිලස් පියවර ගත් අතර එය මෙරට අලෙවි වාර්තා බිඳ දමමින් ජනගත වූවේ ය.
කැමිලස්මය කාටුන් චරිත ආශ්රයෙන් මෙරට ප්රථම ත්රිමාණ සිනමාපටය වූ ගජමෑන් නිර්මාණය වූ අතර එයද ජනතාව මහත් ආදරයෙන් වැළැඳගත්තෝ ය.
අපටම කියා බොහෝ දේවල් නැති රටක අපටම කියා කාටුන් චරිත ගණනාවක් දායාද කළ, සෝපාහාසය – ජඩ දේශපාලනය දැඩි උපහාසයකට ගෙනා කැමිලස් පෙරේරා ජීවන ගමන නතර කර දමා නික්ම ගොසිනි.
පුරාවෘත්තගත කලා ජීවිතයක් හරහා සුවහසක් ජනමනස් හාස රසයෙන් රංජනය කළ ඔහුට අපගේ ගෞරවය මෙසේ පුද කරමු!