සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්රදර්ශනයකදී ශ්රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ මැයි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවති මෙම අරාබි සංචාරක වෙළඳපොළ ප්රදර්ශනයක දී ශ්රී ලංකාවේ වෙළෙඳ කුටිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 16,175 ක් ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය වැය කර ඇති බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ.
එම මුදල වර්තමානය වනවිට ශ්රී ලංකා මුදලින් රුපියල් 5376737(පනස් තුන් ලක්ෂ හැත්තෑ හය දහස් හත්සිය තිස් හතක්) ක්. ඊට අමතරව ඒ සඳහා අමෙරිකානු ඩොලර් 525 ක් වැට් බදු වශයෙන් අයකරගෙන ඇති බවයි එම වාර්තා කරන්නේ.
එසේම මෙම වෙළෙඳ ප්රදර්ශනයේ වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත්, කාර්යාංශයේ සභාපතිවරයා විසින් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය පවසනවා.
මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250 ක ඉඩ ප්රමාණයක් සහිත වෙළඳ කුටියක් සඳහා වුවද, පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 58 ලක්ෂ 23,000 ක් අමතරව වැය වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්.