නවගත්තේගම සෙන්ගක්කුලම ද්විතීය වනාන්තරයෙන් අක්කර 15ක පොල් සිටුවීමට නවගත්තේගම ප්‍රා.සභාවේ හිටපු සභාපති එස්.එම්. ඉන්දික සේනාධිපති වෑයම් කරන බව වාර්තා වෙනවා.
මේ සඳහා ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙක් හා රජයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව පරිසර සංවිධාන වැඩිදුරටත් චෝදනා කරනවා.
අක්කර 200කින් යුක්ත ද්විතීය වනාන්තර ලක්ෂණ සහිත මෙම සෙන්ගකුලම වනාන්තරය යම් හෙයකින් මේ සඳහා ලබා දුන්නොත් බරපතළ ගැටලු ඇතිවිය හැකි බවයි පරිසර සංවිධාන පවසන්නේ.
සෙංගකුලම වනයෙන් හිටපු සභාපතිවරයාට අක්කර 15කට ආසන්න භූමියක් ලබා දෙන ලෙස නවගත්තේගම ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුත්තලම දිසා වන නිලධාරිට ලිපි මගින් ඉල්ලීම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පුත්තලම දිසා වන කාර්යාලයේ සහකාර දිසා වන නිලධාරී ඩී.කේ.බී. වත්තේගම පවසන්නේ, මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බැවින් මේවා කිසිසේත්ම ලබා දීමට සූදානම් නැති බවයි.