එප්පාවල, කටියාව යාය 09 ප්‍රදේශයේ තලාව ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් කටයුතු සිදු වෙමින් තිබෙන අතරතුර ඊයේ (17) එම ගොඩනැගිල්ලේ බිත්තියක් හා වහළය සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.
ඉන් කිසිවකුටත් හානී සිදුව නොමැති අතර නිසි ප්‍රමිතියකින් අදාළ ගොඩ නැගිල්ල ඉදි නොකිරීම ඊට හේතු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මගින් සෘජු කම්කරු කුලී ගෙවීමේ පදනම මත සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
පසුගිය දින කීපය පුරාම මේසන් බාස් වරුන්, ගෝලයින් ඇතුළු පිරිසක් අදාළ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටියද, ඊයේ (17) ඔවුන් නිවාඩු ගෙන තිබීම හේතුවෙන්, කිසිවකුට අනතුරක් සිදු නොවූ බවයි සඳහන් වෙන්නේ.
යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල මෙම අවිධිමත් තත්වයෙන් වැඩ නිමවා සිසු අයිතියට පත් කලේ නම්, අහිංසක මල් කැකුළු වන් දරුවන්ගේ හිස මතට මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඉඩ තිබූ බවද එසේ වූවා නම් පෙර පාසල් භූමිය ලේ විලක් වන්නට ඉඩ තිබූ බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.
එමෙන්ම, ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කිරීමේදී ඒවාට කොන්ක්‍රීට් කණු සහ කම්බි නිසි ප්‍රමිතියෙන් යොදා නැති බවයි ප්‍රදේශ වාසීන් පෙන්වා දෙන්නේ.