ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි ගබඩා කාමරයකදී තරුණියකට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සූපවේදියෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. 29 හැවිරිදි ජූඩ් විජේසිංහ නම් අයෙක්, සඳුදා (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තමාට ම පිහියකින් කරගත් යැයි සැක සිතෙන තුවාළ සහිතව පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ තරුණිය 29 හැවිරිදි භූතාන ජාතික අයෙකු බව ඕස්ට්‍රේලියානු පුවත් ඒජන්සි කියා සිටිනවා. ජූඩ් විජේසිංහට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරනවා. පස්වරු 2 ට පමණ විජේසිංහගේ මහල් නිවාසයට කඩා වැදුණු පොලිසිය පැය ගණනක් එහි ගත කළ බව ද දැක්වෙනවා.
විජේසිංහ,කැන්බරා ජාතික සත්වෝද්‍යානයේ මින්මැදුරේ කොටසක් වන වනජීවී නවාතැනේ සූපවේදියෙකු වූ අතර ඔහුගේ සූපශාස්ත්‍ර නිර්මාණවල ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා බෙදා ගත් බවයි ප්‍රකාශ වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් පෙනී සිටි අයෙකු ලෙසයි, ජූඩ් විජේසිංහ හඳුනාගෙන ඇත්තේ.
මෙම පිහි ඇනුම සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය අයත් විය හැකි පිහි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිදුවීමට හේතු වුණු දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. ඒ අතර සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.