සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.
එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි එම පක්ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බවද සඳහන්.
මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම සම්බන්ධවීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.