ජනපතිගේ විශේෂ ප්‍රකාශයේ සාරාංශයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ එහි අන්තර්ගතය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

2022 වසරේ ණය ගෙවාගන්නට බැරිවුණු රටකට යළිත් ආර්ථික ශක්තිය ලබාදීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංධිස්ථානයකට ගිය සතියේ එළඹිමට හැකි වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගිය ජූනි 26 වැනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළැඹීමට අපට ආණ්ඩුවට හැකි වූ බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මීට අවුරුදු දෙකකට පමණ කලින්, රටේ ආර්ථිකය යළි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සෙ අපේ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

  1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.
  2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී අයිඑම්එෆ් සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම
  3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. රටේ ආර්ථිකය ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම
  4. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණය බරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත දේශයක් බවට පත්වීම

එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනකට මුල පිරුවා. අනාගතය සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 සහ 2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළා.

2023 මාර්තු මාසය වෙද්දී අයි.එම්.එෆ් විස්තීරණ ණය පහසුකම සඳහා එකඟත්වය ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වැනි දා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබා ගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වැනිදාත්, තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වැනිදාත් අපට ලැබුණා.

අයි.එම්.එෆ් වැඩපිළිවෙල පටන් ගත් දා සිටම අප ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතනවල සහය අප දිගින් දිගටම ලබා ගත්තා.

අපේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37 යි. එයින් ඩොලර් බිලියන 10.6 ක් ද්විපාර්ශවීය ණය. ඩොලර් බිලියන 11.7 ක් බහු පාර්ශවීය ණය. ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර.

ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හෙවත් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත්, ඉන් පිටතදීත් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ සමහර කරුණු සත්‍යතාවයෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි.

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි.

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා.

පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා.

ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී.

ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.

මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතාම පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මුල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පතුකරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි, අප දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සිදු කළේ.

දැන් අප අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා.

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව බහුපාර්ශවීය ණය මේ වැඩ පිළිවෙලට අදාළ නැහැ.

ඊළඟට අපට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා.

තව නොබෝ දිනෙකින් මේ සියළු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්‍ෂා කරනවා. ඉන් පසු ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සියළු ගිවිසුම් හා ලියැවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නටය කියා මම රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා.

ගරු කතානායකතුමෙනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගමන් මග නිසා කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. “

1 COMMENT

  1. අනේ මේ කාවද රවටන්නෙ පුරවැසියන් මීහරක් යැයිහිතන අමනයා වැරදි විදිහට පස්‍ර්ලිමේන්තුවට රින්ගල මේරටට විනකරනවා හැකි ඉක්මනින් තොලොන්ජි වෙලා පල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles