කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) ‌පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 09.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බැවින් ආරක්ෂාකාරීව පසුවන්නැයි සඳහන් කරනවා.

මීට අමතරව පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවත් පවසනවා.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලන්නේ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බවයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවදානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්දනුවර, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කිරිඇල්ල සහ අයගම ප්‍රදේශවලටත් මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 1 නිවේදන නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles