මාර්ගයේ ගමන් කරමින් සිටි වන අලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසනවා.
බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් T56 ගිනිඅවියකින් වන අලියාට වෙඩිතබා ඇති බවයි බකමූණ පොලීසිය පවසන්නේ.
දඹුල්ල බකමූණ ප්රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පමණ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වන අලියා බවයි සඳහන් වන්නේ.
ප්රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වන අලියාගෙන් මෙතෙක් කාලයකට කිසිදු පුද්ගලයෙකුට කරදරයක් සිදු වී නොමැති බවයි.
මෙම සිද්ධිය නිසා ඊයේ රාත්රී කාලයේදී ප්රදේශවාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.