එකම පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු ගමන්ගත් වෑන් රථයක් තඹුත්තේගම- ඒරියාගම ප්රදේශයේදී අද (04) අලුයම අනතුරකට ලක්වීමෙන් ඉන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළෙඳසලක් අසල නතර කිරීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථය ලොරියේ පිටුපස බඳ කොටසේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේත් මියගොස් සිටි අතර වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා සිටි තවත් පුද්ගලයෙකු පෙරවරුවේ මියගොස් ඇති බව තඹුත්තේගම පොලීසිය පවසනවා.
කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචිකරුවන් වන මියගිය පිරිස අතර වයස අවුරුදු 36ක, 46ක සහ 55ක පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ වයස අවුරුදු 36ක සහ 43ක කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.
අනතුරින් තුවාල ලැබූ අවුරුදු 11ක සහ 06ක පිරිමි ළමුන් දෙදෙනෙකු මෙන්ම 08 හැවිරිදි දැරියක් තඹුත්තේගම රෝහලේ ප්රතිකාර ලබන බව සඳහන්.
මක්කම වන්දනාවේ යාමට ගුවන් ගමන් බලපත්ර සකස්කර ගැනීම සදහා කුරුණෑගලට පැමිණ ආපසු නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හා අධික වේගය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනවල දී අනාවරණය තිබෙනවා.