පුතා ආවෙ උදව්වට : ඇමැති අලි සබ්‍රි උත්තර දෙයි!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ කටයුතු සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි සමඟ ඔහුගේ පුත්‍රයා සහභාගී වී සිටින බවත් එය ඉතා පැහැදිලිව ඥාති සංග්‍රහය බවත් විවේචන එල්ල වුණා. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අතර විදෙස් අමාත්‍යවරයාගේ පුත්‍රයාද අසුන් ගෙන සිටින අයුරු දකින්නට ලැබුණු අතර එම ඡායාරූප විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවියේද පළ කර තිබෙනවා. එහි එක් ඡායාරූපයක දැක්වෙන්නේ “ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳව පැවති ඉහළ මට්ටමේ රැස්වීම” යනුවෙනුයි. එහි විදේශ අමාත්‍යවරයාගේ ආසන්නයේ ම සිටින්නේ ඔහුගේ පුත්‍රයා යි.

කෙසේ වෙතත් මේ ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහිදී තමා සිය පුත්‍රයා එම කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමේ තීරණය ආරක්ෂා කරමින් ඔහු කරුණු දක්වනවා.

ඇමැතිවරයා පවසන ආකාරයට ඔහුට විශාල වැඩකටයුතු රාශියක් පැවරී තිබෙන බැවින් එම පුළුල් වැඩ ප්‍රමාණය සඳහා ගැඹුරු පර්යේෂණ, ලිවීම් සහ සූක්ෂම සූදානමක් අවශ්‍ය කරනවා. මේ කටයුතු සඳහා ස්වෙච්ඡා කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා හැකි බවත්, සිය පුත්‍රයාගේ විශේෂඥ දැනුම සහ කාලය මේ කටයුත්තට යොදාගැනීමට තමා තීරණය කළ බවත් එහිදී ඔහු පවසනවා.

තීරණාත්මක කටයුතු සඳහා පුත්‍රයාගේ උදව් තමාට මහත් උපකාරයක් වූ බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා රජයේ මුදල් රුපියලක්වත් වැය නොවූ බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, අප සමඟ අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ, විදේශ අමාත්‍යවරයා වචන හරඹයකින් සිය ඥාති සංග්‍රහය වසා ගැනීමට වෑයම් කර ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා තවමත් අධ්‍යාපනය ලබන අයෙකු වන ඔහුගේ පුත්‍රයාගෙන් ලැබිය හැකි උපකාරයක් නැති බවත් ය. මෙය පැහැදිලිවම සිය බලය ඥාති සංග්‍රහයේ යොදවමින් අනාගත දේශපාලන කටයුතු සඳහා සිය පුත්‍රයා පුහුණු කිරීමේ අවස්ථාවක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles