ඔන්ලයින් ආරක්ෂණ පනතට සංශෝධන පසුව සලකා බලනවා : ටිරාන්

සිවිල් ව්‍යාපාර, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා සහ ආසියානු සන්ධානය විසින් යෝජනා කර ඇති පනත් කෙටුම්පතට අදාළ සංශෝධන පසුව සලකා බලන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරමින්.

පසුගිය වසරේ සමාජ මාධ්‍යවල නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් සංසරණය වී ඇති අතර සයිබර් අපරාධ 8,000ක් සිදුකර ඇති බව ද ඔුහ සඳහන් කළා.

2024 වසරේ මුල් සති කිහිපය තුළ නිරුවත් ඡායාරූප 500කට අධික ප්‍රමාණයක් ප්‍රචාරය වී ඇති බවත් පසුගිය වසරේ අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන 6,690 ක් වාර්තා වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම සංඛ්‍යා සීඅයිඩීය විසින් වාර්තා කර ඇති සහ වාර්තා කර ඇති ඒවා පමණක් බවත් තවත් බොහෝ අන්තර්ජාල අපරාධ සහ අපයෝජනයන් වාර්තා නොවූ ඒවා විය හැකි බවත් පවසනවා.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් ආවරණය වන්නේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ, කැරලි ඇති විය හැකි, ආගමික සහ වාර්ගික සංහිඳියාවට බාධා ඇති කළ හැකි ප්‍රකෝප කිරීම් වැළැක්වීමට පමණක් බවත් පවසන අමාත්‍යවරයා ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත භාවිතා කරමින් කිසිවෙකු ගොදුරු කර ගැනීමට අදහස් නොකරන බවත් සඳහන් කළා‍.

එසේම “මම මේ සංවිධාන සමඟ සාකච්ඡා කළා, ඔවුන් පනතට යම් සංශෝධන ඉදිරිපත් කළා. නමුත් මේ සමහර සංශෝධනවලට දැන් ඉඩ දෙන්න බැහැ කියලා නීතිපතිවරයා මට දන්වා තිබෙනවා. ඒ නිසා මම එම සංශෝධන ඊළඟ වතාවේ කැබිනට් මණ්ඩලය රැස්වූ විට ඉදිරිපත් කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් අපි මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන පමණක් ගෙන එනවා. අපි දැන් පනත අනුමත කර පසුව තවත් සංශෝධන ගෙන එන්නෙමු,” යනුවෙන් ද පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles