මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව මිහින්තලේ පොලිසිය පවසනවා.
එම මාර්ගයේ, මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ, එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා බව පොලීසිය සඳහන් කරනවා.
තුවාලකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටු පස ගැටීමෙන් එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.