රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියටයි.
ඒ අනුව අදාළ ශිෂ්‍යයාට අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙසයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් නිකුත් කර තිබෙන්නේ.
එම සිසුවා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැත්තෙක්. ඔහු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළා.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙත්සම්කාර ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටියා. අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බවයි.
ඒසේම ඔහු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගය සඳහා පෙනී සිටීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බවත් විභාගවලට හා දේශනවලට පෙනී සිටීම අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවත් නීතිඥවරයා පවසා සිටියා.
ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම කරන බවත් එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ, විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවත් පෙන්වා දී තිබෙනවා.
එසේම තම සේවාදායකයාට ලබන 09 වනදා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත්තේ.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය විනය තීරණයක් වන මෙම තීන්දුව විශ්වවිද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන්ට ද අදාළ බවයි.
ඒසේම විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ විරුද්ධත්වය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බවත් එසේ තිබියදී අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බවත් සඳහන් කළා.