මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන පඬු කරඳ ශාකය පරීක්ෂණයක් සඳහා ගොඩ ගන්නා ලෙස අධිකරණය ඊයේ (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කරනු ලැබුවා.
එම ශාකය ගොඩ ගන්නා තුරු, ගස වළ දමා ඇති ප්‍රදේශයට අධිකරණ නියෝගයකට අනුව යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වා ගෙන යන ලෙසට බෙම්මුල්ල පොලීසියට දැනුම් දෙන ලෙසටද නියෝග කෙරුණා.
ආන්දෝලනයට ලක් ව ඇති, වඳ වී යන ශාකයක් බව කියන කෘඩියා සිලොනිකා හෙවත් පඬු කරඳ ශාකය ගලවා අතුරුදන් කිරීමට එරෙහිව පවරා ඇති නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (24 දා) විභාගයට කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ පිළිබඳව සඳහන් කෙරුණා.