රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කර තිබෙනවා.
ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ, අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වනදා තම සේවා දායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ බවයි.
ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විදේශගත වීම නිසා මෙම නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවා දායකයා තුළ ගැටලුවක් තිබූ බවත් නීතිඥවරයා සඳහන් කළ බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර, නඩුව නැවත මාර්තු මස 04 වෙනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක පසුගියදා (26) නියෝග කළා.
ඒ අදාළ මන්ත්‍රීවරයා විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි.