තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳට ලබාදීමේ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව කියන අනිෂ්කා රංජීවි ද සිල්වා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.
මෙම පෙත්සමේ තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවත් එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙනවා. පසුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙම ඉඩම නීතිවිරෝධී ආකාරයෙන් ගොඩ කිරීමට පියවර ගෙන ඇති බව පෙත්සමේ තවදුරටත් චෝදනා කෙරෙනවා.
එම ගොඩ කරන ලද ඉඩමේ නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි සඳහන් වන්නේ. මේ නිසාවෙන් වගුරු බිම ආශ්‍රිතව ඩෙංගු රෝගය පැතිර යන බවද ඇය කියා සිටිනවා.
මෙම නීතිවිරෝධී කටයුත්ත සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතන වලට පැමිණිලි කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළායාමට සිදු වූ පෙත්සමේ සඳහන් වෙනවා.
කරුණු සොයා බැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳට ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙනවා.