මැදපෙරදිග සේවය කරන කතුන් 60කට පෙම් කරන බව පවසා මුදල් ගැරූ අනංගයා දැලේ

ව්‍යාජ ලෙස ෆේස්බුක්හි පෙනී සිටිමින් මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටින කාන්තාවන් පනස් දෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වා එම කතුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයෙක් ගල්ගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අඹන්පොළ දී පෙරේදා (17) සැකපිට අත්අඩංගුව ගෙන තිබෙනවා.

ඒ අනුව එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සහ යුද හමුදාවේ නිලධාරියකු ලෙස මුහුණු පොතේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු අඹන්පොළ, බුල්නෑව ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතුවල සහ කුලියට ගවයන් බලා ගැනීමේ නිරතව සිටින 30 හැවිරිදි එක් දරු පියෙක් වන අතර මොහුගේ බිරිඳ ද මැදපෙරදිග රටක ගෘහ සේවයේ නිරත වන බවයි විමර්ශන තුළින් හෙළි වී තිබෙන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සැකකරු කිසිම දිනක පාසල් ගොස් නොමැති කියවීමට අකුරු ලිවීමට කිසිදු හැකියාවක් නොමැති අයකු බවත් එසේ වුවත් මොහුට ජංගම දුරකතන ආශ්‍රිතව කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු බවයි.

යුද හමුදා නිල ඇඳුමකින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමකින් සැරසී සිටින නිලධාරීන්ගේ මුහුණුවලට පුද්ගලයාගේ මුහුණු බද්ධ කර එම ඡායාරූප මුහුණු පොතේ පළකර ගෘහ සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකික කතුන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන වරින් වර රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැංකු ගිණුම් දෙකකට ගෙන්වාගෙන ඇතැයි කරන ලද පරීක්ෂණ තුළින් හෙළි වී තිබෙනවා.

එම කාන්තාවන් එවූ මුදල්වලින් නිවෙසක් තැනූ බව සැකකරු පවසා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී දුරකතන තුනක්ද පොලිස් බාරයට ගත් බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles