ජනාධිපතිවරණයට තවත් සන්ධානයක් : ජනපතිට සහය දෙනවා!

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානයක් ලෙස සිය මෙහෙයුම් ආරම්භ කිරීම එම සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, එහි නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 01 දින රාජගිරිය ඔවුන්ගේ මූලස්ථානයේදී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා කියා සිටියේ, විවිධ දේශපාලන පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට පත් වී දැනට ඒවා නියෝජනය ‍නොකරන මන්ත්‍රීවරුන් 71 පාර්ලිමේන්තුවේ සිටින බවයි. තමන් නව කතිකාවක් සහිතව නව සන්ධානයක් ආරම්භ කරනු ලැබුවේ ඔවුන් සියලු දෙනා එක් කරගැනීම සඳහා බව ඔහු එහිදී සඳහන් කළා.

ජනාධිපතිවරණයේදී තම කණ්ඩායම ජනාධිපතිවරයාට සහය දක්වන බවයි ලාන්සා මන්ත්‍රීවරයා කියා සිටින්නේ. තමන් වැඩ කළ සියලු තැන්වලට ජයග්‍රහණ ගෙනා බවත් තමන් කී දේ නෑසූ නායකයින් පරාජය වැළඳගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ ජනපති වී බදු අඩු කළ බවත් එයින් ජනතාව තාවකාලික සහනයක් ලැබුවද ආර්ථිකය විනාශ වූ බව මන්ත්‍රීවරයා සිහිපත් කළා. වැඩපිළිවෙලක් සහිතව මේ යන ගමන ආර්ථිකය ශක්තිමත් කරනු ඇති බව කියූ ඔහු ආර්ථිකය ශක්තිමත් කරද්දී ජනතාවට අමාරු වුවත් සත්‍යයට මුහුණ දිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

තම සන්ධානය නැවත කිසිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවෙන බව ඔහු වැඩිදුරටත් පවසනවා. වියත්තු කියා පිරිසක් පැමිණ දුන් උපදෙස් රට අගාධයට ගෙන ගිය බවත් එම පිරිස අතර විශේෂයෙන් නාලක ගොඩහේවා මහතා වැනි අය දැන් සජිත් මහත්තයාට උපදෙස් දෙන බවත් ලාන්සා සිහිපත් කර සිටියා.

මෙහිදී නව සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාද අදහස් පළ කර සිටියා. නව සන්ධාන මෙහෙයුම් කාර්යාල ප්‍රධානී සිරිපාල අමරසිංහ, වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුලු සහය දක්වන පක්ෂ රැසක නියෝජිතයින් ගණනාවක්ද මේ අවස්ථාවට සහභාගි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles