“වැඩිය දැඟලුවොත් ක්‍රීඩා ඇමතිකම පවරගන්නවා” අතුරු කමිටුව ගැන හොයන්න ජනපතිගෙන් තවත් කමිටුවක්

ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමේ ගැසට්ටුව ඉවත් කරගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (6 ) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඇමැති මණ්ඩල රැස්වීමේදීයි.

ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුව හේතුවෙන් ජාත්‍යන්තර බලපෑම් එල්ල විය හැකි බවට ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත්වුවහොත් පත්වන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමත් ඇමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ක්‍රීඩා නීතිය තමන් යටතට පවරා ගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් තමන්ට අවශ්‍ය නොවන නිසා ක්‍රීඩා අමාත්‍යාංශයම පවරා ගන්නා ලෙස මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයා පවසා ඇති බව කැබිනට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඉන්පසු ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳ සෙවීමට කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර කමිටු සාමාජිකයෝ වෙයි.

ක්‍රිකට් අතුරු කමිටුව ගැසට් කිරීම සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles