ජවිපෙ මුදල් ගැන අනුර කතා කරයි

දේශපාලන පක්ෂ අතරින් විශාලම අරමුදල ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට යැයි ඇතැමුන් පැවසූවද මැතිවරණන කොමිසමට යොමු කළ වාර්තා අනුව ජවිපෙට ඇත්තේ රුපියල් ලක්ෂ 830ක අරමුදලක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

එජාපයට රුපියල් ලක්ෂ 350ක් සහ පොදුජන පෙරමුණට ඇත්තේ රුපියල් ලක්ෂ 170ක් පමණක් බව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා තිබුණද ප්‍රධාන පක්ෂ දෙකක්ට එවැනි සුළු මුදලක් අරමුදල් ලෙස පැවතිය නොහැකි බව පෙන්වා දෙමින් ඔහු කියා සිටින්නේ ඔවුන් භාවිතා කරන්නේ කළු සල්ලි බැවින් අරමුදල්වල සත්‍ය වටිනාකම මැතිවරණ කොමිසමට වසන් කරන බවයි.

එම පක්ෂ වල සත්‍ය වටිනාකම ජවිපේ අරමුදල මෙන් සිය ගුණයක් විශාල බවද ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම පක්ෂයේ අරමුදල් ගැන වරලත් ගණකාධිකාරීවරයෙක්ගේ සහතික කිරිමක් සහිත වාර්තාවක් සෑම මසකම මාර්තු මාසයේ මැතිවරණ කොමිසමට යොමු කරන බවද ඔහු සඳහන් කරනවා.

තොරතුරු දැනගැනීමේ පනත හරහා එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන් ලෝකයේ රටවල සංචාරය කරන්නේ මෙරට සංක්‍රමණික සේවකයන් විසින් ලබාදුන් අරමුදල්වල පිහිටෙන් බවද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඇතැමුන් පවසන පරිදි තමන් රුපියල් ලක්ෂ 700ක් පමණ මෙම සංචාර සඳහා වියදම් කර නැති බවත් ඉන්දියාවේ සහ චීනයේ සිදු කළ සංචාරයන් එඑම රටවල්වල රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළ බවත් ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම මෙරට සංක්‍රමණික සේවකයන් විසින් ලබාදුන් අරමුදල්වලින් සංචාරය කරන බැවින් සෑම සංචාරයක් සඳහාම තමන් භාවිතා කළේ සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් බවද ඔහු පෙන්වා දෙනවා.

දකුණු කොරියාව,එක්සත් ජනපදය,ඔස්ට්‍රේලියාව,කැනඩාව,ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ජපානයේ සංචාර සඳහා තමන්ට වැය වූයේ රුපියල් ලක්ෂ 33.7ක් පමණක් බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන්නේ.

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles