අධිකරණයට වෙට්ටු දාන්න හැදූ ආසිරි රෝහල මට්ටු වෙයි: අධ්‍යක්ෂවරුන්ට 21 දා උසාවි එන්නැයි නියෝග

නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යටතේ මුදල් අයකිරීම සම්බන්ධ නඩුකරයට අදාළව ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කරනු ලැබුවා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් Lankaline අප කරුණු දිගින් දිගටම අනාවරණය කළා. කෙසේ වෙතත්, මහජන වැදගත්කමකින් යුත් මෙම නඩුවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරියක් විසින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගොස් ඇති සන්දර්භයක ලබා දුන් තීන්දුව නීති ක්ෂේත්‍රයේ ම කතාබහට ලක්ව ඇති බවද අප එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නැවත මෙම නඩුව නැවත කැඳවීමට තීන්දු කරනු ලැබුවා. එහිදී අධිකරණය නියෝග කරනු ලැබුවේ නැවත ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන්ට පෙබරවාරි 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

කෙසේ වෙතත්, පසුගිය දා එම තීන්දුවට එරෙහිවද මෝසමක් මගින් නීතිඥ ජීවන්ත ජයතිලක විසින් මෙම අධ්‍යක්ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතීසි නිකුත් කිරීම අභියෝගයට ලක් කර ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. ඔහු කියා සිටියේ අවසන් වූ නඩුවකට අදාළව දුන් නියෝගයක් යළි ප්‍රතිශෝධනය කිරීමට විනිසුරුවරුන්ට බලය ලබා දී නැති බවයි.

මෙහිදී අධිකරණය ඇමැතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ විත්තිකරුවන්ට නොතීසි නිකුත් කළේ සියළු පාර්ශ්වයන්ට කන්දී සුදුසු නියෝගයක් කිරීමට බව පෙන්වා දුන්නා.

වැඩබලන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුවන්ට චෝදනා 11 වෙනුවෙන්ම නියම කර ඇති දඩය රුපියල් 25000 ක් බව පෙන්වා දී කියා සිටියේ මදුරුවන් බෝ කරන ස්ථානයක් පවත්වාගෙන යෑමටත් ඊට වඩා දඩයක් පණවන බවයි. වැඩබලන මහේස්ත්‍රාත්වරිය පනවා තිබෙන දඩය චෝදනා 11න් බෙදූ විට ශත ගණන් සහිතව දඩ මුදල් වෙන් වෙන බවයි ඇය තවදුරටත් පෙන්වා දුන්නේ.

ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ, ආසිරි රෝහල් සමූහයේ අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ සේවකයෙක් වන බී.ඩී. සඳතිසරු යන අයටයි. විත්තිකරුවන්ට පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබියදී නීතිඥවරයෙකුගේ මෝසමකට අනුව නඩුව වෙනම කැඳවා තිබීම නෛතිකව දෝෂ සහිත බවද එහිදී පෙන්වා දෙනු ලැබුවා.

පැමිණිලිකාර සනත් අතුකෝරල හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන අය සහභාගි නොවුණු අවස්ථාවක විත්තිකාර පාර්ශ්වය පමණක් සහභාගි කරවාගෙන විත්තිකාර ආසිරි රෝහල ඉදිරිපත් කළ කරුණු පමණක් පදනම් කරගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග දී ඇති බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ. උක්ත වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් තීන්දුව දෝෂ සහිත බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

යුක්තිය ඉෂ්ඨවීම පිණිස ඒකපාර්ශ්වීය නොවූ තීන්දුවක් ලබා දීම සඳහා නොතීසි නිකුත් කිරීමට තම අධිකරණයට අභිමතානුසාරී බලයක් ඇති බව අවධාරණය කරමින් විත්තිකාර ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටීමට නියම කළ නොතීසි සම්බන්ධයෙන් විත්තියේ විරෝධතාව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර දමනු ලැබුවා. ඒ අනුව ලබන 21 වැනි දා ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන් 10 දෙනෙක්ට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති.

පෙර ලිපිය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles