දුම්රිය සේවකයන් දහසකගේ සේවය හැර යෑමේ ලිපි මුදුණයේ : දුම්රිය වෘත්තිය සමිතිවලින් ආණ්ඩුවට රතු එළියක්

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බවයි අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු පසුගිය 09 වෙනිදා රාත්‍රී 12 සිට ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් වර්ජනයේ නිරතව සිටිනවා.

දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටිනවා.

වර්ජනයට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි ඔහු පවසන්නේ.

වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇති බවත් ඉතා පහසුවෙන් විසඳුම් ලබාදීමට හැකියාව තිබියදී ඉල්ලීම් ඉටු කිරීමට සාමාන්‍යාධිකාරීවරයා අපොහොසත්වීම වර්ජනය දිග්ගැස්සීමට හේතුවක් බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles