පරිස්සමෙන්! වැලි මැස්සා රෝගයක් අරන් ඇවිත්

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ලීෂ්මනයිසිස් නම් රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.

එම රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක දනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල දී පවත්වනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය වෛද්‍ය හා සමාන්තර විද්‍යා පිඨයේ, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුව හා ඉක්ලිප්ස් ව්‍යාපෘතිය එකතුවෙන්.

ඔවුන් මේ පිළිබදව ජනතාවට අවබෝධයක් ලබා දීම පිණිස පසුගිය දිනවල රජරට ප්‍රදේශයේ පදවිය, තලාව සහ නාච්චදූව වැනි ප්‍රදේශවල පාසල්, මරණාධාර සමිති සහ ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක් පවත්වා තිබෙනවා.

ඒ ප්‍රජා මූලික වැඩසටහන්, ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ වෛද්‍ය සායනයන් ද ලෙසයි.

මේ සදහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වරු පිරිසක් සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් පිරිසක් එක්ව සිටියා.

ලීෂ්මනයිසීස් රෝගයේ, රෝග වාහකයා වැලිමැස්සා වන අතර රෝගය බෝ කරන රෝගකාරකය වනුයේ, ලීෂ්මේනියා නම් පරපෝෂිතයෙක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රෝගය පිළිබදව පවතින නොදැනුවත්කම හා රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් මූලික අවස්ථාවේ දී ඇති වූ කුඩා ගැටිති, බිබිලි හෝ තුවාල ප්‍රමාණයෙන් විශාල වීමට හෝ පැතිරුණු තුවාල බවට වර්ධනය විය හැකි බවයි මෙම පර්යේෂකයින් හෙළි කරන්නේ.

එම තත්ත්වය වළක්වා ගැනීමට තුවාල ඇති වූ මුල් අවධියේ ම රජයේ රෝහලක් වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බව ද මෙම පර්යේෂකයින් පවසනවා.

ලීෂ්මනයිසිස් රෝගය යනු වළක්වා ගත යුතු, වළක්වා ගත හැකි, නිට්ටාවටම සුව කරගත හැකි රෝගයක් නමුත් සම මතුපිට දිගු කලක් සුව නොවන ගැටිත්තක්, බිබිලක්, තුවාලයක් ඇත්නම්, ලීෂ්මනයිසිස් යැයි සැක කොට රජයේ රෝහලක් වෙත යොමු වන ලෙසයි මෙම පර්යේෂකයින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජයත් ශ්‍රී බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles